දරට ගිය සුදු නැන්දා






















ටස් ටස් ටස්....

නියගයෙන් දිගින් දිගටම බැට කෑ දුඹුරු පැහැ ගැන්වුන කුඩා වනරොද පුරාම නින්නාද දුන්නේ වියලි කඳන් වලට පිහි පාර වදින හඬිනි.

ඩහ් ඩොහ් ඩහ් ඩොහ්........
දිරාගිය කොටයකට ඉමහත් වෙහෙසක් දරා මන්නයකින් කොටමින් සිටි සුදුනැන්දා වකුටු කොණ්ද මොහොතකට දිග හැර ගත්තාය.

ඇගේ මුහුණ පුරා පිපුන දහදිය මල් පිටි අල්ලෙන් පිසගත් ඈ ලිහිල්ව තිබූ කිළිටි චීත්ත රෙද්ද තද කර ඉනේ ගසා ගත්තාය.

සුදුනැන්දේ....විටක් කමුද....?!!!

පඳුරු කීපයක් පයින් මැඩගෙන සිහින් දරකෝටු කඩමින් සිටි පුංචි හාමිනේ ඇසුවේ බුලත් කොක්කණය අතට ගනිමිනි.

විටක් හදාපන් නංගියේ........
සුදු නැන්දා කොටය මතින් ඉඳ ගනිමින් කීවාය.
පුංචි හාමිනෙත් ඒ මතින් හිඳගෙන බුලත් කොක්කණය සුදුනැන්දා අතට දුන්නාය.

ඔන්න ඔය කොට කෑල්ල එහෙම් පිටින්ම ගෙදර ඇන්න ගොහින් ගොයියටම කියල පලා ගත්තනම් නාකද?!!

ජර බර ගාමින් බුලත් හපමින් ඈ ඇසුවේ වනපෙත මත දිග ඇදී බැස යන මළ හිරුදෙස බලමිනි.
රත් පැහැති රාස්සිගේ අවුව ගස් කොලන්වල දිගු සෙවණැලි හිස් බිම්කඩ පුරා මවා තිබුනි.

මේ දවස් වල බිස්නස් වැඩී නංගො...නැත්ද??!!
කතරගම යන මිනිස්සු දරමිටියක් සුවර් එකටම අරන් යන්නෙ අපෙන්......

ඕව් සුදු නැන්දෙ.....කතරගමට කිට්ටු කරනකොට සේරම ගණන් උස්සනව නෙව.......

තුහ්හ්හ්............තව මිටියක් හදාගෙනමයන්ඩ ඕන....
අනේක විදියේ කරදර බාදක වලින් අකාලයේ කලු ගැසී හැකිලී ගිය මුහුණ යලිත් පිස ගත් සුදුනැන්දා නැගී සිටියාය.

තිලකා.....නදීකා.....වරෙන් විටක් කන්න....
සුදුනැන්දාගේ හඬින් මෙතෙක් වේලා නැගෙමින් තිබූ විවිදාකාරයේ හඬවල් මැකීගියේය.

අතු පොඩිවන හඬින් ගැහැණුන් කීපදෙනා ඔවුන් අසලට එන බව සුදුනැන්දාට වැටහුනි.

නගා තව ඩිංගකින් බිම් කරුවලත් වැටෙයි..මන් තව ගහක් බිම දා ගන්නම්........

හා නැන්දේ......

සුදු නැන්දා යලිත් චීත්තය තද කර ඇඳගෙන මන්නා පිහියත් අතට ගෙන කුඩා දරට ගිය ගසක් සෙව්වාය.
ගැහැණු පස් හය දෙනෙක් මැරීගිය ගස් බිම හෙලා තිබූ නිසා ඒ අඩවියේ එකඳු ගසක්වත් තිබුනේ නැත.
වනාන්තරය තුලින් රැහැයි නාදය ඇදී ආවේ පාලු බව මොනවටද කියාපාමිනි.....
වියලුණ වැල් පඳුරු කීපයක් කපාදැමූ සුදුනැන්දා මග පාදාගෙන වනරොද තුලට පිවිසියාය.

සුදු නැන්දේ.............පරිස්සමට අඩිය ගහපාන්...ඔය සර්ප විමානෙ....
පුංචිහාමිනේගේ හඬ ගස්කොලන් අතරින් ඇදී ආවේය.

සුදුනැන්දා අඩිය මාරු කලේ පරිස්සමිනි.
වියලී ගිය කොලතට්ටු යට නයි පමණක් නොව පොළඟුන් වැනි මාරාන්‍තික සර්පයන්දගැවසෙන බව ඈ අත්දැකීමෙන් දත්තාය.

මට මොනා හරි උනොත් මයෙ දරු දෙන්නට යන කලදසාව මොකක්ද....??!!මේ සේරම කරන්නෙ උන්ගෙ හොඳටනෙ...
අපි කොච්චර දුක් වින්දත් කමක් නෑ කවදා හරි උන් කාලා ඇඳල හිටියොත්.........

එසේ සිතමින වියලී ගිය කටු ගසක් තෝරාගත් සුදුනැන්දා වෙරයොදා ඊට කෙටුවාය....

ඒ ඉසව්වේ වැඩිපුරම වැවී තිබුනේ පුළුන් ගස්‍ ය.
පුපුරාගිය පුළුන් බීජ අතරින් පුළුන් රොදවල් එළියට පැන තිබුනේ දිගු සුදු රැවුල් මෙනි.

සුදුනැන්දලා ජීවත් වූයේ වැල්ලවාය කතරගම මාර්ගය අසල යාල අභය භූමිය මායිමේය.
හේනක් කොටාගෙන යාන්තම් දිවිසරි කරගත් ඔවුන් දර මිටියක්,මුරුංගා මිටියක් ,දිවුල් මල්ලක්, සියඹලා මුලක් විකිණුවේ අමතර මුදලක් සොයා ගැනීමටය.
දිගු නියන් සමය නිසා හේනේ වූ වට්ටක්කා වගාව හේ ගොස් තිබූ ආකාරය සිහිපත් වූ සුදුනැන්දාට හීල්ලුනි.

අනේ අහස් දෙයියනේ අපිට පිහිටක් වෙන් නැද්ද??!!!

මේ පාරවත් කතරගම ගිහින් දේවාලෙට බාරයක් වෙන්නෝනි...

ස්කන්ධකුමරුගේ මහා ප්‍රතාපවත් රුව මනසින් මවා ගත් ඇය සාධුකාර දුන්නාය.

ටස් ටස් ටස්...........
කපා හෙලූ ගස කුට්ටි කරමින් ඇය ඒවා එක මිටියකට සකසා යලිත් කටුගසක් තම ග්‍රහණයට ගත්තාය.

ටකස්......ටකටක ටකස්ස්.......
පුළුන් ගසක අතු බිඳෙන හඬක් ඇසුන සුදුනැන්දා ඒ දෙස බැලුවේ විපරමිනි.මද සුළඟක්වත් හොහැමූ මේ මොහොතේ ගසේ අතු බිඳෙන හඬ අසාමාන්‍ය විය.

හිහිහ්හ්හ්................

එක්වරම කණ අසලින් නැඟුන හඬ නිසා නැන්දා තිගැස්සී ගියාය.
පිටුපස හැරී බැලුවත් කිසිවෙකු පෙනෙන්නට නොවූ අතර අනෙක් පිරිස උස් හඬින් කතා බහ කරමින් දර මිටි බඳින ආකාරය ඇයට ඇසුනි.
රතුපැහැගෙන තිබූ අහස කෙමෙන් කෙමෙන් නිල් පැහැ ගන්නා ආකාරය ඉහලට දිගු වූ වියලි අතු අතරින් නැන්දාට පෙනුනි.

බුකුම් බුකුම්........හිහි හිහිහ්..............

එක්වරම පුළුණ් ගසක අත්තක් සොලවමින් කිසිවෙකු කෑ ගැසූ අතර දෙපා පැටලුන සුදුනැන්දා දරමිටිය මතටම ඇද වැටුනාය.

අපොයි අම්මෝ...කොන්ද කැඩුනද කොහෙද....??!!!
කොණ්ද ඇනුනා පමණක් නොව අතපයද සීරී ගියේය.
අත්තේ සෙලවීම නතර විය.
අනෙක් කාන්තාවන්ගේ සාමකාමී හඬින් සුදුනැන්දා තේරුම් ගත්තේ මේ හඬ ඔවුන්ට නොඇසුන බවයි.

බුකුම් බුකුම්........
එය වඳුරන් නඟන හඬක් වැනිය.

හිහීහ් හිහි හිහි හී..................

කවුද මේ කොකම් පාන්නෙ??!!!!!!
කියමින් මන්නා පිහිය අතට ගත් සුදුනැන්දා අපහසුවෙන් නැගී සිටියාය.
කෙල පොදක් අතෙහි වූ සීරිමක තවරමින් ඕ ගසෙහි සෙලවූ අත්ත දෙසට ඇස් යැව්වාය.

කවුද ඔය...??!!!!

අතු අතරින් පහලට එල්ලෙන පුළුන් රොද අතරින් දිස්වූයේ
බියපත් ළමා මුහුණකි.

ඔහුගේ මුහුණ මදඅඳුරේ වුවත් ඈට මදක් පැහැදිලිවම දිස් විය.
ඒ තම සත් හැවරිදි පිරිමි දරුවා වැනි දරුවෙක් බව සුදුනැන්දා වටහා ගත්තාය.

මන් බය උන තරමක්............
අනේ හැබෑටම.....මේ රූස්ස කැලේ ගහක් උඩ නැගගෙන මොනාද කරන්නෙ??!!!
බහිනව බිමට.............

සුදුනැන්දාගේ සැරපරුෂ හඬට බියපත් වූ ඔහු කොලඅතු අතර සැඟවුනේය.
ඔහුගේ මුහුණ වටා අකබඹරු වන් කැරලි ගැසුන කොණ්ඩයක් විහිදී තිබූ ආකාරය සුදුනැන්දාට පෙනුනි.

ඒකත් එකටම මේ ළමයා ගෙදරින් හොරාට පැනල ඇවිත් ඇත්තෙ ගෙදර හිටියොත් හේනෙ යන්ඩ වෙනවනි.....
එසේ සිතමින් සුදුනැන්දා අත්තක් ගෙන පාහින්නට පටන් ගත්තාය.

මේ ඔය ළමයා බහිනවද නැද්ද...??!!!ඇයි මේ කැලේ ඇවිත් ඉන්නෙ.....??!!!ගෙදර කවුද ඉන්නෙ...??!!!

කලුපැහැති විසල් දෑසත් පිරුණු පැහැපත් කොපුලත් කොලුගැටයාට ගෙන ආවේ හුරුබුහුටි පෙනුමකි.කමිසයක් රහිත නිසා ගතේ පැහැපත් ඡවි වර්ණය සුදුනැන්දාට පෙනුනි.

කවුරු හරි යමක් කමක් තියන කෙනෙක්ගෙ දරුවෙක් වෙන්ඩෑ..පේන් නෑ තෙල් පාට....
තමාටම කොඳුරාගත් සුදුනැන්දා යලිත් ඉහල බැලුවාය.

ඇයි උත්තර දෙන්ඩ බැයිද?!! මොකෝ ඔතන කරන්නෙ??!!!
අම්මා දන්නවද මෙතනට ආපු විත්තිය.....??!!අම්මත් දර කඩන්නඩද ආවෙ.....?!! කොහෙද දර කපන්නෙ?!!.......

වදනකින්වත් පිළිතුරු නොදුන් පොකුටු හිසැති දරුවා,හිස වනමින් කොල අතු අතරින් නැන්දා දෙස බලා සිටියේ යමක් ඉල්ලන අයුරිනි.

කොහෙන්දෝ හමා ආ සීතල සුළඟක් සුදුනැන්දා වැළඳ ගත්තේය.ඕ වෙව්ලා ගියාය.

කෝ.......බැහැල එන්ඩ...........රෑ වෙනවා....අම්මව හොයාගමු....එන්ඩ ඉතින්............

කඩිසර ලෙස වැල් පොටකින් දරමිටිය බැඳගත් නැන්දා තෙපලුවාය.

එන්ඩ ඉතින්....................

සුදුනැන්දා භීතියට පත් කරමින්,වඳුරෙකු මෙන් ඒ දරුවා දෑත සහ දෙපයම යොදාගෙන අත්ත දිගේ බඩගාගෙන පේන මානයට පැමිණියේය.

ඔහුගේ සුරූපී හුරුබුහුටි පෙනුමෙන් නැන්දා මදක් විශ්මයට පත්වූවාය.කැරලි ගැසුන ගෙල දක්වා දිගු කොණ්ඩය සීතල සුළඟේ සැලෙන්නට විය.නමුත් ඔහු හිඳ සිටියේ අත්ත මත උක්කුටියෙනි.මිනිසෙකු කෙසේනම් එසේ සමබරව අත්තක් මත සිටින්නද??!!

එන්ඩ එන්ඩ....මේ කරුවලත් වැටිල...මට පරක්කු වෙනවා.....
එන්ඩ බැයිද??!!!

ඔහු නොසෙල්වී සුදුනැන්දාගේ දෑස් දෙසම බලා සිටියේ අත්ත මත ඉදිරියටත් පසුපසටත් පැද්දෙමිනි.
දැන් දැන් දරුවා බිමට පනිතැයි සුදුනැන්දාට සිතුනි.

එන්ඩ.................................

ආර්ර්ර්ර්ර්ග්ග්ග්ග්ග්ග්ඝ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්...................

දරුවා නැගුවේ මහ කධෝර හඬකි.රැහැයියන් මහ හඬින් හඬ තලන්නට වූ අතර පුළුණ් ගස් මණ්ඩිය තුල හමාගියේ වේගවත් සුළඟකි.ඒ සුළඟට අසු වූ පුළුණ් ගෙඩි දඩ බඩ ගාමින් බිමට ඇද වැටුනි.

නැන්දා ඉමහත් භීතියට පත් වූවාය.

ප්............පුංචි හ්.....හාමිනේ...........න්....නදීකා......ඉක්මනට වරෝ.............

නැන්දේ......සුදු නැන්දේ..........ඇයි බොලේ.......???!!!

කැලේ බිඳගෙන අනෙකුන් තමා වෙත එන හඬ නැන්දාට ඇසුනි.

පොඩි කොල්ලා ගසෙන් රූටා බිමට පැන්නේ නැන්දාට පිටුපස හරවමිනි........
භීතියෙන් සලිත වූ නැන්දා යලිත් වරක් බිම ඇඬ වැටුනාය.

ක්......කවුද උබ.....??!!!!
මන්නා පිහිය තරයේ අතට අල්ලාගත් ඇය කෑ ගැසුවාය.

දරුවා කෙමෙන් කෙමෙන් නැන්දා දෙසට හැරුනි.
ඒ දර්ශනය ඈට දිවි ඇති තෙක් අමතක වන්නේ නැත.
දරුවාට තිබුනේ මින් පෙර ඈ කිසිදිනක අසා හෝ දැක නැති ආකාරයේ බිහිසුණු පෙනුමකි.

කලුපැහැති පියකරු දෑස් ගිණිකණ වැටි තිබූ අතර නිකට පහලට ඇදී තිබුනේ බල්ලෙකුගේ හොම්බක් සිහිගන්වමිනි.පැත්තකට ඇරුන කටෙන් බිමට දෙකට බෙදුන දිවක් ඇඳී තිබූ අතර සුදුපැහැති දත් ඒ අතරින් පෙනුනි.

මගෙ දෙයියෝ.....!!!!!!
දරුවාගේ පැහැපත් සම අමුවෙන් පිළිස්සුනාක් මෙන් පුපුරාගොස් රත් පැහැ ගත්තේය.
මද අඳුර මැද එය සුදුනැන්දා දුටු බිහිසුණුම දසුන මවා පෑවේය.

ළඟට එන්ඩ එපෝ.............
මන්නා පිහිය ඉදිරියට දිගු කල නැන්දා බෙරුහන් දුන්නාය.
කුඩා අමනුෂ්‍යයා ඈට මදින් මද ළංවූ අතර එක්වරම කධෝර හඬින් බෙරිහන් දුන් ඌ කැලේ කඩාගෙන දුවන්නට විය.
ඊට පෙර නැන්දාට පිටදෙසින් දරුණු වේදනාවක් දැනුනි.

කපාහෙලූ ගසක් මෙන් සුදුනැන්දා ලේ වැකුණ ගතින් ක්ලාන්ත වී වියලි කොලතට්ටුව මත ඇදවැටුනාය.

හිසෙහි අත් බැඳගත් ගැහැණු ඈ අසලට රොක්වූයේ ඉමහත් කම්පනය වූ සිතිනි.

සුව නොවූ සීරුම් තුවාල වලිනුත්,දින ගණනාවක් තිස්සේ අධික උනෙනුත් පෙලුණ සුදුනැන්දා අවසානයේ සුව වූයේ පිටගමකින් කැඳවාගෙන ආ ගුරුන්නාසේකෙනෙක් සිදුකල තොවිල් ශාන්තිකර්මයකින්ද අනතුරුවය.

ගුරුන්නාසේට ගතු කීමට ඉදිරිපත් වූයේ පුංචි හාමිනේය.

"මේ නැන්දට ඕකව පෙනෙන්ඩ කලියෙන් අපේ පොඩි කොල්ලා දැකල තියනවා අපේ වත්තෙ තියන කිලෝපේර ගහ උඩ කොණ්ඩෙ පොකුටු කොල්ලෙක් ඉන්නවා....අපේ කොල්ලා කතා කරාලු කතා කරාලු,උත්තර දෙන් නැල්ලු....
පොඩි එකා දැකල ගහේ ඉන්න කොල්ලගෙ කටින් දිවක් එලියට එනවා...
කොල්ලගෙ කෑ ගැහිල්ලට මන් එතන්ට දුවගෙන යනකොට ඡායාවක් වගේ දැක්කා ඒකා කැලේට පනිනවා..පිරිත් නූලක් බැන්දම කොල්ලටනම් හරි ගියා....

එදා සුදු නැන්දා තව දර මිටියක් කපන්න කැලේ ඇතුලට ගිහින් ටික වෙලාවකින් කාටද කතා කරනව ඇහුනා....මම ටික වෙලාවක් අහගෙන කාටද එන්ඩ එන්ඩ කියල කතාකරනවා........වැඩිය ගනන් ගත්තෙ නෑ......එකපාරම අපිට කතා කරපු ගමන් දුවගෙන ගියා......
නැන්දා දිහා බලන් හිටපු අමනුස්සයා එකපාරම නැන්දව හූරලා කැලේට පැන්නා......මට හොදටම විස්සාසයි ඒ අමනුස්සයාමයි අපේ නැන්දටත් ගැහුවෙ කියල.....
ගුරුන්නාන්සේ මාමේ......"

හොඳා හොඳා.........

තුහ් ගාමින් බුලත් කෙළපාරක් පඩික්කමට හෙලූ ගුරුන්නාන්සේ රැල් බුරුල් හැර කතාවට බැස්සේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් වල සිට හමා එන වැහි සුළඟේ පහස විඳිමිනි.

ඔය විස්තරේ ඇත්ත ළමයිනේ.....
ඔය කොණ්ඩෙ පොකුටු අමනුෂ්‍යයාට කියන්නෙ #පොකුට්ටා කියල ඕන්.........
කවුරු කවුරුත් තෙරුවන් සරණ ගිහින් හිටියනන් හොදා....
තොයිලෙ කොච්චර ගුණද කියනව නම් කතරගම දෙවිහාමුදුරුවන්නෙ පිහිටෙන් වැස්සකුත් වැටෙන්ඩ යන්නෙ...........

ඔහුට කියා නිම කිරීමටවත් අවස්ථාවක් ලැබුනේ නැත.
කලුවන් දුමාරයක් මෙන් හමා ආ වැහිවලාකුළු හෙණ හඬ නගමිනි මොරසූරන වැස්සක් බවට පරිවර්තනය විය.
දුහුවිලිපිරුණ බිමට ත්‍යාගශීලීව ඇද වැටුන විසල් වැහිපොද නිසා නැඟුන බිම් සුවඳ වාතලය පුරා පැතිරගියේය.



No comments:

Powered by Blogger.