සැමියාගේ මධ්‍යසාර ගදට වහ වැටුණු පේ‍්‍රත ආත්මය බිරිදටත් බැල්ම හෙළයි

අමනුෂ්‍ය බලපෑමකදී සිදුවන්නේ පුද්ගලයකුගේ පෞරුෂය සම්පූර්ණයෙන් යටපත් කරගෙන අමනුෂ්‍යයකුගේ පෞරුෂය එම පුද්ගලයා තුළින් මතුවීමයි. නමුත් අමනුෂ්‍ය බලපෑමක් කියා සඳහන් කරන බොහෝ දෙනකුට ඇත්තේ අමනුෂ්‍ය බලපෑමක් නොව භූත උන්මාදය නැමති මානසික රෝගී තත්ත්වයයි.
එම තත්ත්වයට පත්වූවකු මානසික වෛද්‍යවරයකුට යොමුකරනවා හැර අධ්‍යාත්මිකවේදියකුට ඔහු වෙනුවෙන් කළ හැකි ප්‍රතිකාරයක් නැත. එවැනි අමුනුෂ්‍ය බලවේගයක් හා පුද්ගල සිතේ ඇති කරගත් අසාමාන්‍ය ශක්තියක් හමුවේ මවාපෑමක් සිදුකළ සිද්ධි 2ක් ගැනයි මේ..

ඇමෙරිකාවේ පැරානොමල් සංගමයේ සාමාජිකත්වය හිමි විශ්වපානි පදනමේ සාමාජිකයන් ලංකාවේ ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් ඉකුත් වසරේ සිදුකළ පරීක්‍ෂණවලදී ඒ බව තහවුරු වූ අවස්ථා තිබෙනවා.

එක් අවස්ථාවකදී එවැනි සිදුවීමක් සම්බන්ධ පරීක්‍ෂණයක් සිදුකළේ කුරුණෑගල ප්‍රදේශයේය. පරීක්‍ෂණයට නිමිත්ත වූයේ කාන්තාවක් ශරීරයෙන් ගින්දර නිකුත් කිරීමේ අසාමාන්‍ය ශක්තියක් පිළිබඳවයි. තරුණ වයසේ සිටින එම කාන්තාව ජීවත්වන නිවසේ ඇය අවට ඇති දෑ ගිනි ගැනීමට ලක්වන බවත් එය ඇයට හිමි වූ අසාමාන්‍ය ශක්තියක් බවත් ඒ වනවිට බොහෝ දෙනා විශ්වාස කළෝය. තවක් සමහරෙක් දුටුවේ එය භූත බලපෑමක් මත සිදුවන්නක් ලෙසයි.

පැරානොමල් සංගමයේ සාමාජිකයන් එම නිවසට පැමිණි මොහොතේදී ද ඇය තමන්ගේ සිරුර පෙන්වමින් ඊට මොහොතකට පෙර ඇයගේ එක් අතක් පිළිස්සුණු අයුරු පෙන්වුවාය. දකින දේ විශ්වාස කරනු විනා එහි පතුල පරීක්‍ෂාකර බැලිමේ පුරුද්දක් මේ සමාජයට නැත. මේ නිසා රැස්ව සිටි ගම්මුන් පවා ඇය අසාමාන්‍ය ශක්තියක් හිමි කාන්තාවක් බව විශ්වාස කළෝය. නමුත් එය ගණනකට නොගත් පරීක්‍ෂණ කණ්ඩායම නිවැසියන්ගේ අවසරය ඇතිව එම කාන්තාවගේ කාමරයේ සූක්‍ෂම කැමරාවක් සවි කළේය. ඒ බව නොදත් කාන්තාව කාමරයට වැදුණේ තම අසමාන්‍ය ශක්තියේ තරම පෙන්වා පැමිණ සිටින පිරිස හැරෙන තැපෑලෙන් ගෙදර යැවීමටය. ඒ සඳහා ක්‍රියාත්මක වූ ඇය කාටත් රහසේ සඟවා තිබූ ගිනිපෙට්ටිය ගෙන තමන්ගේම අත පුච්ච ගත්තාය. මේ සියල්ල කැමරාවේ පටිගත වී තිබිණ. පසුව පටිගතවී පැවති ඒ දසුන් එම කන්තාවට පෙන්වූ විට ඇය මහත් ලැජ්ජාවටත් බියටත් පත්වූවාය. ඇගේ ආයාචනය වූයේ එය කිසිවකුට හෙළි නොකරන ලෙසයි. ඒ වෙනුවෙන් ඇය යළි කිසිදිනක එවැන්නක් නොකිරීමට පොරොන්දු වූවාය. කාන්තාවගේ අසාමාන්‍ය ශක්තිය එතැකින් අවසන් විය.

 අමනුෂ්‍ය බලපෑම් ඇති බව කියන ඇතමකුගේ හැසිරීම එබඳුය. උන්මාද මානසිකත්වය නිසා ඔවුන්ට තමන් කරන දේ පිළිබඳවත් වැටහීමක් ඇත්තේ නැත. පෙර සඳහන් කාන්තාවගේ එම හැසිරීමට හේතුව ඇගේ ස්වයංපීඩික කාමුකත්වය බව තවදුරටත් ඒ පිළිබඳ කළ පරීක්‍ෂණ වලින් හෙළි වී ඇත. බොහෝවිට අදෘෂ්‍යමාන බලවේගවලට සැබෑ ලෙස ගොදුරුවන්නන් හඳුනාගත නොහැක්කේද සමාජය එවැනි සිදුවිම් කෙරෙහි අවිශ්වාසයෙන් අවඥාවෙන් බැලීමට පුරුදුව ඇත්තේද පෙර සඳහන් සිදුවීම් නිසාය. නමුත් පහදාගත නොහැකි කොතකුත් සිදුවීම් අදටත් මේ සමාජයෙන් අසන්නට ලැබේ.

විශ්වපානී පදනමේ ප්‍රතිකාර සඳහා පැමිණි කළුතර ලයනල් ගේ කතාව එවැන්නකි. ඔහු කිසිදිනක භූත දෝෂ හොල්මන් වැනි ඉන්ද්‍රියගෝචර නොවන දේ පිළිබඳ විශ්වාස නොකළ පුද්ගලයෙකි. ආගම දහම කෙරෙහි වුව එතරම් තැකීමක් නොකළ ද ඔහු ඒ අතරම කිසිවකුටත් හිරිහැරයක් නොවන ලෙස සාමකාමී ජීවිතයක් ගෙන ගිය අයෙකි. නමුත් කලෙක පටන් ලයනල්ට අත්හල නොහැකි නරක පුරුද්දක් තිබිණි. ඒ සවස් යාමය වනවිට මද්‍යසාර ටිකක් තොලගෑමේ ආසාවය. ඔහු එම පුරුද්දට ඇබ්බැහිව සිටියේ වැඩ නිමවා ගෙදර එන විටය. ලයනල්ගේ එම පුරුද්දට නිවසින් ඇනුම් බැනුම් දෝෂාරෝපණ එල්ලවනවිට ඔහු තනිවම මද්‍යසාර පානයට පුරුදුවිය. ඒ සඳහා ඔහු වැඩ නිමවා නිවසට පැමිණෙන පාරේ ඇති හුදකලා රබර් වත්තකට යෑමට පුරුද්දක් කරගෙන තිබිණ. මේ නරක පුරුද්දට ඇබ්බැහිව ටික කලක් යනවිට ලයනල් වෙනස්ම පුද්ගලයකු බවට පත්විය. ඔහුගේ සාමාන්‍ය සිතුවිලි වෙනතකට හැරිණ. එහි අවසාන ප්‍රතිඵලය වූයේ සිය බිරිඳ අන්පුරුෂයකු සමග සම්බන්ධයක් තිබෙන බවට සැකයක් ඇතිවීමයි.

එම සැකය දලූලා වැඩෙමින් තිබුණු කාලයේ එක් දිනක සවස් යාමයේ ලයනල් පසුවූයේ රබර් වත්තට වී කටගැස්මක් සමග මද්‍යසාර තොලගාමිනි. ඒ මොහොතේ එහි පැවතියේ දැඩි නිහඬ බවකි. එක්වරම එය බිඳලමින් ඔහුගේ දුරකතනය නාද විය. දුරකතනයේ අනෙක් අන්තයෙන් ඇසුණේ වෙනත් පුරුෂයකු හා බිරිඳ පෙම් බස් මුමුනන හඬය. තරමක් මත් වී සිටි ඔහුට මේ සිදුවන්නේ කුමකදැයි සිතා ගැනීමට නොහැකි වූයේය. ඔහු යළි සවන් දුන්නේය. ඒ තමන්ගේ බිරිඳගේම හඬ බව ඔහු සැක හැර දැනගත්තේය. කුමක් ඉවසුවද තම බිරිඳ අන් පුරුෂයකුගේ පහසෙහි වෙළීම පුරුෂයකුට ඉවසුම් නොදෙන කාරණයක්ය. එය සංස්කෘතික පුරුද්දක වැරැද්දක් නොව සත්ත්ව ලෝකයේ ස්ත්‍රි පුරුෂ දෙපක්‍ෂයට පොදු ජෛව විද්‍යාත්මක ලක්‍ෂණයකි. ඒ මොහෙතේදී මත්විතේ උත්තේජනයත්ද සමග ලයනල් තුළින් එම ගතිය ඕනෑවටත් වඩා මතුව ආවේය. එක උගුරට ඉතිරි මද්‍යසාර අඩිය කටට හළාගත් ඔහු හීයක වේගයෙන් නිවසට දිව ගියේ එදිනම කතාව විසඳා දැමීමටය.

එහෙත් එක වරම ඔහු නිවසට ඇතුළු වූවේ නැත. කෝකටත් කියා නිදන කාමරයේ ජනේලය ළඟට ගොස් ඔහු යළිත් විපරම් කළේය. බිරිඳගේ පෙම්බස් දෙඩවිල්ල තවමත් එසේමය. නිදන කාමරයෙන් ඇසෙන්නේ බිරිඳ වෙනත් පුරුෂයකු සමග පෙම්බස් දොඩන හඬය. ලයනල්ගේ කෝපය තමන් කවුරුන්නද යන්න අමතක කර තිබිණ. පෝල්ලක් අතින් ගත් ඔහු වෙසමුනි ආරූඪවූවකු සේ කාමරයට කඩා පැන්නා පමණය. සුව නින්දක සිටි බිරිඳ එයින් බිරාන්තව අවදි විය. අන්ද මන්ද වූවකු සේ ලයනල් සෑම තැනකම විපරම් කළේය. දියණියත් බිරිඳත් හැර එහි මිනිස් පුළුටක් නොවීය. සිදුවීමෙන් වික්‍ෂිප්තභාවයට පත් ලයනල් සියල්ල බිරිඳට කිවේය. නමුත් එය එතැකින් නිමා වූවේද නැත. දිගින් දිගටම ලයනල්ට රාත්‍රී කාලයේදී බිරිඳ වෙනත් පුරුෂයකු සමග කතා කරන ඒ හඬ ඇසිණ. ඒ අතර ටික කාලයක්යත්ම ලයනල් කෙරෙන් අවේශවීමේ ගති ලක්‍ෂණයක්ද ඇතිවන්නට වූවේය. විශ්වපානී පැරානොමල් සංගමය ලයනල් හා සම්බන්ධවුයේ එම නිවැසියන්ගේ ඉල්ලීමකට අනුව ගැටලූව එවැනි මට්ටමක තිබියදීය.

මේ සිදුවීම කිව්ව ගමන් අපේ කණ්ඩායම ඔහුගේ නිවසට ගොස් පරීක්‍ෂණ කටයුතු සිදුකළා. අධෝරක්ත කිරණවලට සංවේදි කැමරා මනුෂ්‍යයකුට ශ්‍රවණය කිරීමට හැකි සීමා ඉක්මවන හඬ ග්‍රහණය කළ හැකි උපකරණ, වායු පීඩන, චුම්බක ක්‍ෂේත්‍ර ගණනය කරන අධි තාක්‍ෂණික උපකරණ වැනි උපකරණ සවි කරලා අපි දත්ත එකතු කරගත්තා. ඒවායින් තහවුරු වුණා කිසියම් ශක්තියක බලපෑමක් ඒ නිවසේ තියෙන බව. ඊට පස්සෙ තමයි අපි ලයනල්ව පරීක්‍ෂා කළේ. ඔහුත් සමග කතා කරද්දි ඔහු තුළින් වෙනත් පෞරුෂයෙක් මතුවෙලා ආවා. ඒ බලපෑම මිය ගිය අයකුගේ. ලයනල් රබර් වත්තේ මද්‍යසාර බොනකොට බයිට් එකට ගත්ත පුළුටු කෑම වලට ආසාවෙන් තමයි එම මිය ගිය ආත්මය ලයනල් පස්සෙ වැටිල තියෙන්නෙ. ඊට පස්සෙ මේ ආත්මය ලයනල් එක්කම නිවසට එනවා. ලයනල් ලිංගිකව හැසිරෙද්දී ඔහුගේ අභ්‍යන්තරයේ සිටින ඒ ආත්මය ඒකට වහ වැටෙනවා. පස්සෙ ලයනල්ව වැඩිපුර ලිංගික ඇසුරට යොමු කරන්නෙ එම බලවේගයමයි. එයින් තෘප්තිමත් වන ගමන් එම අමනුෂ්‍ය බලවේගයට අවශ්‍ය වෙනවා ලයනල්ව බිරිඳගෙන් ඈත් කරන්න. ඒ නිසා තමයි වෙනත් පුරුෂයකු නිවසේ සිටිනවා වගේ ශබ්ද ඇතිකරලා තියෙන්නේ. ලයනල්ව භූතාවේශ ගන්වා කතා කළාම මේ සියල්ල හෙළිකරගත්තා.

ලයනල්ව මේ විපතින් බේරා ගැනීම සඳහා පළමු ක්‍රියාකාරකම වුණේ ඔහු මද්‍යසාර වලට ඇබ්බැහිව සිටින සවස් යාමයේ බුදු පහන තියන්න පෙළඹ වීම. ඒකෙන් ඔහුගේ පුරුද්ද මඟ හැරුණා. අමනුෂ්‍ය බලවේගය විශ්ව ශක්තිය සහ බුදු ගුණ මගින් මෙල්ල කරල බෝධි රුක්‍ෂයක් ළඟට යෑමට එකඟ කරගත්තා. දැන් ලයනල් පූර්ණ සුවය ලබා සිටිනවා.

කාට වුණත් කියන්න පුළුවන් මේවා මානසික රෝග කියල. එහෙම උනත් අපි ඒ රෝගියාට එක බෙහෙත් පෙත්තක් ලබා නොදී සුව කළේ. ඒක ශරීරයට අහිතකර නෑ.

විශ්වපානී පදනමේ ආධ්‍යාත්මවේදී කසුන් නාගොඩ විතාන මහතා ලයනල් සුව කළ අයුරු විස්තර කළේ එසේය.

ලෝකය පවතින්නේ තවමත් හෙළිකරගත නොහැකි රහස් බොහොමයක් සඟවා ගෙනය. පුද්ගලයෙක් විශ්වාස කරන දෙයක් තවකෙකුට විශ්වාස නොකළ හැකිය. නමුත් ඒ විශ්වාසයන්ට අප ගැරහීම නොකළ යුක්තකි. අනෙක් අතට ගැටලූවට ප්‍රායෝගිකව මුහුණ නොදෙන තාක් ඕනෑම කෙනකුට එයට දාර්ශනික පිළිතුරු බැඳිය හැකිය. නමුත් එම පිළිතුරට නියම වටිනාකම තීරණය වන්නේ ප්‍රායෝගිකත්වය තුළමය.

-තිස්ස ගුණතිලක-
(දිවයින පුවත්පත)

No comments:

Powered by Blogger.