නිල් කුරුමිණි

ම්ම්ම්...මේ කතාවෙදි මගේ සීයව ගෝලයා ලෙසත් සීයගේ සීයව ගුරුන්නාන්සෙ ලෙසත් නම් කරමි.ඉතින් මේ ගුරුන්නාන්සෙ ජීවත් වුනේ මාතර ප්‍රදේශයේ.ඒ පළාතටම හිටපු දක්ෂම කට්ටඬියෙක්.අනෙක් පලාත්වල කොච්චරවත් කට්ටඬි හිටියත් ඒ අහල ගම් හතේම මිනිස්සු තොවිල් පෙවිල් ආදියක් කර ගන්න හොයා ගෙන එන්නෙ මේ ගුරුන්නාන්සෙව.හැම ගුරුන්නාන්සෙ කෙනෙකුටම වගේ මේ ගුරුන්නාන්සෙටත් හතුරුකම් කරපු ගුරුන්නාන්සෙ කෙනෙක් හිටියා.ඒ වෙන කවුරුත් නෙමෙයි ගුරුන්නාන්සෙගෙම සහෝදරයා.සහෝදරයෝ අතරත් ඊරිසියාකම් ඇති වෙන්න පුලුවන්නෙ ඉතින්...දවසක් ගුරුන්නාන්සෙ පූජාව තිය තියා සිටින විට යමෙකු කතා කරන හඬ ඇසුණි. " ගුරුන්නාන්සෙ මාමා....ගුරුන්නාන්සෙ මාමා...." නිවසේ සිට පැමිණි ගුරුන්නාන්සෙගේ මායියා " ඔය ලමයා කාවදෑ හොයන්නෙ " ඇසීය. "
නැන්දා...මෙ...සියදෝරිස් ගුරුන්නාන්සෙ මාමා ඉන්නෙ මෙහෙද..." එතනට පැමිණ ගුරුන්නාන්සෙ " මම තමයි සියදෝරිස් ගුරුන්නාන්සෙ කියන්නෙ...ඔය ලමයා කවුද කිව්වනම්..." "එහෙමයි ගුරුන්නාන්සෙ...මම ගුනේරිස්...මම එහා ගමේ ඉදලයි මේ එන්නෙ" පැවසීය. " ඔය ලමයා ආපු කාරිය කිව්වනන් " ...." එහෙමයි ගුරුන්නාන්සෙ...අපේ කෙලීට දිස්ටියක් වැහිලා ගුරුන්නාන්සෙ ...මං මේ ඔබ තුමා එක්කාසු කොර ගෙන යන්නයි මේ ආවෙ..." "හ්ම්ම්...එහෙනම් කොලුවෝ උඹ ගොහින් මේ කලමණා ටික ලැහැස්ති කොරලා තියාපම්...මං හැන්දෑ කොරේ වෙද්දි එන්නම් වැඩේ අහවරක් කොරන්න..." යැයි පවසා ගුරුන්නාන්සෙ අවශ්‍ය කලමණා පවසා ඔහු පිටත් කර හැරීය.ඉන් පසු තම ගෝලයාටද ගමනට අවශ්‍ය අඩුම කුඩුම ටිකත් පවසා තමන්ගේ වෙද මල්ලද රැගෙන හවස 5ට පමණ නිවසින් පිටත් විය.එහා ගමට යාමට ඇති එකම මාර්ගය වූයෙ ඔවුන් දැන් ගමන් කරන කැලෑ මාර්ගය පමණි.කැලේ ඇතුලට යනවිට අඳුර වැඩි වී තිබූ හෙයින් හුලු අත්තකුත් දල්වාගෙන ගුරුන්නාන්සෙ නැවත ගමන් ඇරඹීය.මෙලෙස මද දුරක් යනවිට යනවිට තමා පිටු පස කවුරුන් හෝ එන බව දැනී ගුරුන්සේගේ ගෝලයා හැරී බැලුවේය.නමුත් කිසිවෙකු නොමැති හෙයින් නැවත ගමන් ඇරඹුවේය.මද දුරක් යනවිට නැවත කොළ අතු පොඩි වෙන ශබ්දයක් ඇසී ගෝලයා හැරී බැලීය.එවිට ඔහු දුටුවේ වල් ඌරෙකු නැවතී තමා දෙස බලා සිටින ආකාරයයි.එය ගානකට නොගෙන ගුරුන්නාන්සෙ සමගම නැවත ගමන් ඇරඹුවේය.මද දුරක් යනවිට නැවත තමා පසු පස කවුරුන් හෝ එන හඬක් ඇසී ගෝලයා නැවත හැරී බැලුවේය.එවිටද අර වල් ඌරා ඔවුන් පසු පස එනු දුටුවේය.නමුත් මෙවර උගේ ස්වරූපය මදක් වෙනස් වී ඇති අතර ප්‍රමාණයද මදක් විශාල වී ඇති බවක් පෙනෙන්නට විය.මදක් ඌ දෙස බලා සිටි ගෝලයා එයද තැකීමක් නොකර ගුරුන්නාන්සෙ පසු පස යන්නට විය.නැවත බර අඩි තියමින් තමා ලඟින්ම ඌ එන ශබ්දය ඇසෙන්න්ට විය.මේ මොන වදයක්ද යැයි තමාටම මුමුණා ගනිමින් ගලක් ගෙන "සීයෙ වල් ඌරෙක් එන..." පවසනවාත් සමගම පිටු පස හැරුණේ ඌ පන්නා දමන්නටය.ඒ සමගම දුටු දසුනින් ගෝලයා බිම ඇද වැටී ගල් ගැසී බලා සිටියේය.එවර එම වල් ඌරාගේ ස්වරූපය ඉතා භියකරු ලෙස වෙනස් වී ඇත. දෑස් රක්ත වර්ණයෙන් දිලිසෙන්නට විය...උස අඩි 5ක් පමණ විය...රුධිරය බේරෙන දල දෙක උඩු ඇතට ඇඹරී ඇත...ඌ එක එල්ලේ ගෝලයා දෙස බලා සිටි.එකවරම ගෝලයාගෙ අතින් ඇද තමා පිටු පසට කරගත් ගුරුන්නාන්සෙ තමා මතුරමින් සිටි වැලි අහුර වල් ඌරා වෙත දමා ගැසීය.මර හඬ දෙමින් වල් ඌරා කැලේ කඩා ගෙන දිව ගියේය. " ඈ බොල මං තොට කීවා නේද මේ හැන්දෑ කොරේ කැලේ අස්සෙ හක්කොලං කොරද්දි පස්ස නොබලා වරෙන් කියලා..." ගෝලයාට දොස් නගමින් මතුරා තෙල් ටිකක් ඔහුගේ හිසේ ගා ගුරුන්නාන්සෙ නැවත පෙරමුන ගෙන ගමන් කලේය.කැලේ මැදට පමණ ලං වී ඇත.මද දුරක් මෙසේ යනවිට කැලේ ඇතුලේ සිට කුලප්පු ඌ මී හරක් රංචුවක් ඔවුන් වෙත දිව එන හඬ ඇසුණි.ලඟ ලඟ ශබ්දය ඇසෙන්නට විය. " ඉක්මන් කොරලා අහක් වෙයන් කොලුවෝ ...මී හරක් කුලප්පු වෙලා" යැයි පවසමින් ගුරුන්නාන්සෙ අයිනකට පැන්නේය.දෙදෙනා පදුරු අ‍තරින් බලා සිටියේ ලඟම අසෙන මී හරකුන් රැල කැලෙන් එලියට පනින තුරුය.දැන් ශබ්දය ඇසෙන පරිදි මී හරක් රැල කැලෙන් එලියට පැනීමට ආසන්නය.පදුරු දෙබෑ කර ගනිමින් එක්වරම එලියට පැන්නේ ඔවුන් බලාපොරොත්තු නොවූ අමුත්තෙකි...සැබැවින්ම ඌ විශාල කොටියෙකි...දෑස් ගිණි පුළිගු මෙන් විය...රුධිරය බේරෙන් දත් හා නිය විලිස්සමින් ගුරුන්නාන්සෙ දෙස රුදුරු බැල්මක් හෙලයි....අඩි 5ක් පමණ උසින් යුත් ඌගේ ලොම් ඉතා ඝනය....උල් දෙහි කටු මෙන් විය....සැබෑ වටම ඌ දකින ඕනෑම අයෙක් නිරායාසයෙන් භිය වන්නේය...ඇග ලොමු දැහැ ගන්වමින් ඌ කෑ ගසන්නට විය. " කොලුවෝ ඉක්මන් කරලා ගනින් ඔය මල්ලෙන් දෙහි ගෙඩි තුනක්...මූ එසේ මෙසේ එකෙක් නෙවේ බොල.ජීවං කොරාපු පිල්ලියක්..." " කොලුවෝ ඔය මල්ලෙන් විළඳ මී පැණි,අබ ටිකක් අරගෙන ආං අර හුඹහෙන් පස් ටිකක් කඩා ගෙනෙ එක්කාසු කරපං...ඊට පස්සෙ පිනි දිය,බුලතක ඉස්ම කලවම් කොරලා කොටි පිලිමයක් හදලා හනිකට දියන් මට " යැයි පවසමින් අසල ඇති හුඹසක් ගෝලයා හට පෙන්වීය.ගුරුන්නාන්සෙ දෙහි ගෙඩිත් රැගෙන කොටියා ඉදිරියට ගොස් මතුරන්නට පටන් ගත්තේය.කොටියාද කෑ මොර දෙමින් ගුරුන්නාන්සෙ වටා කැරෙකෙන්නට විය.ගුරුන්නාන්සෙ දෙහි ගෙඩික් ගෙන මතුරමින් එය ගිරය අතර රැදවීය. " ගහපං පුතා පිනුමක් " කියමින් දෙහි ගෙඩිය කැපීය.ඒ සමගම කොටියා පසෙකට පෙරලී ගියේය.මතුරමින් දෙවෙනි දෙහි ගෙඩියද ගිරය අතර රදවමින් " නැගපං පුතා ගහට " කියමින් දෙහි ගෙඩිය කපා දැමීය.එසැනින් කොටියා දිව ගොස් ගසකට නැගී අතර මගදී ගසෙන් ඇද වැටීය.මෙවර ඌගේ පෙනුම තවත් රෞද්‍ර විය." කොලුවෝ විගහට උඹ හදාපු මැටි පිලිමෙ දිය..." කියමින් ගෝලයා සැදූ හුඹස් මැටි කොටි පිලිමයද ඉල්ලා ගත් ගුරුන්නාන්සෙ මතුරමින් තෙවෙනි දෙහි ගෙඩියද ගිරය අතර රැදවීය.(සිනා සෙමින්) "උඩ පැනලා ගහපං පුතා පිනුමක් " කියමින් තෙවැනි දෙහි ගෙඩියද කපා දැමීය.ඒ සමගම අහසට පැන පෙරලී බිම ඇද වැටුණු කොටියා පලාතම දෙවනත් වෙන්නට තරම් ශබ්දෙන් කෑ මොර දුන්නේය.ගුරුන්නාන්සෙ පිලිමයට මතුරමින් සිටී.ගිණි පිටවෙන දෑසින් ගුරුන්නාන්සෙ දෙස බලා සිටි කොටියා සැනින් දිව විත් ගුරුන්නාන්සෙ වෙත පනින්නට විය.කොටියා තමා වෙත පනිනවාත් සමඟම තමා මතුරමින්සිටි සිටි කොටි පිලිමය ගෙන ආ හුලු අත්තේ දැවෙමින් තිබූ ගිණි ජාලාවට දැමීය එකෙනෙහිම මර හඬ දුන් කොටියා නිල් පැහැති කුරුමිණියන් රංචුවක් බවට පත් වී ගුරුන්නාන්සෙ වටා වටා තුනක් කැරකී කැලේ ඇතුලේ නොපෙනී ගියේය.කෙසේ හෝ රෑ බෝවී එහා ගමේ ආතුරයාගෙ ගෙට ගොඩ වූ ගුරුන්නාන්සෙ ඒ කාරියත් අහවර කොට පාන්දරම සිය බලා පැමිණෙනියේය.නිවස ඇතුල් වන කඩුල්ල ලඟදී ඔවුන් හට ඇසුණේ තම සහෝදරයා කෑ මොර දෙන හඬයි.අඩියට දෙකට ගෙට දිවූ ගුරුන්නාන්සෙ දුටුවේ වෙද රාල පැමිණ තම සොහොයුරාගේ දෑස් වල බෙහෙත් ගල්වා වෙළුම් පටි දමන ආකාරයයි.තම භාර්‍යාව ලඟට ලං වූ ගුරුන්නාන්සෙ..." හාමිනේ...මොකෑ බං මලයට උනේ..." ඇසීය. " අනේ ඒයී...ඊයේ රාත්තිරියෙ මලයා පූජාව තියෙන කාමරේ ඉදලා බෙරිහන් දුන්නා...අපි දුවල බැලින්නම මේකාගේ මූණ පුරාම දිලිසෙන කුරුමිණි රැලක් එල්ලිලා උන්නා...කොච්චර එලව්වත් උන් නෙමේ ගියෙ.අවසානෙට මේකගෙ ඇස් දෙකත් කණ කොරලම තමා උන් කැලේ අස්සට ගියේ" හාමිනේ පවසන විට ඊයෙ රාත්‍රියේදී සිදු වූ දේ ගුරුන්නාන්සෙ හට මනාව වැටහෙන්නට විය.තමාව විනාශ කිරීමට තමාගේම සහෝදරයා කල ගුරුකම තමා කපා දැම්මේය.වැරදුණු ගුරුකම නිසා කෝප වූ පිල්ලිය නැවත ගොස් ගුරාගෙ ඇස් දෙකත් කණ කර දැම්මේය....පසු කලෙක ඔහු කාත් කවුරුත් නොමැතිව දුක් විද මියගිය බව දැන ගන්නට ලැබුණි.

No comments:

Powered by Blogger.