මත්කුඩු සුවඳට ඇබ්බැහි වූ කුසල්ගේ භූතයා පාලිතට අපා දුක් දුන් හැටි

මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූවෝ තමනුත් විනාශ වී පවුලේ අයත් විනාශ කොට මරණින් මතු ප්‍රේතයන් වී ඉපිද බාහිර අයට ද හිරිහැර කරදර කොට නිරාදුකට පත් වෙති. කුඩු ජාවාරම්කාරයෝ ද ඔවුනට ඍජුව හෝ වක්‍රව උදව් කරන්නෝ ‍ද අනියමින් උදව් කරන්නෝ ද ඔසුපත් නිරයවලින් මහ නිරයට වැටී අනන්ත දුක් විඳිති. කුඩු උ‍රා ලැබූ වින්දනයට වඩා ලක්ෂ කෝටි වාරයක් ලෝදියෙන් පිලිස්සී මැරෙති. මැරි මැරී එහි ම ඉපද ඉපද ලෝදියෙන් දැවී පිලිස්සි පිලිස්සී අනන්ත දුක් විඳිති.


ආස්වාදයේ ආදීනව නොදැන වස්තු තණ්හාව හා රස තණ්හාව නිසා එසේ තමන් ද විපතට පත්ව අනුන් ද විපතට පත් කරන එවැනි මහා අපරාධ සුළු කොට තැකීම කාලයේ විකෘතියක් සේ පෙනෙයි.

දෙම‍ටගොඩ පාලිත තිස් දෙහැවිරිදි බැංකු නිලධාරියෙකි. මාසයකට ලක්ෂ තුනක් ඉක්මවා වැටුපක් ලබති. විවාහක ඔහු එක් දරු පියෙකි. උපාධි හා පශ්චාද් උපාධි සමත්ව වැදගත් තත්ත්වයක් ඉසිලීය.

දැනට වසර දෙකක සිට හෙරොයින් පානයට ඇබ්බැහි වී ඔහු දැන් රැකියාවට යන්නේ ද නැත. ශරීරය දුර්වර්ණ වී කෙට්ටුව ඇත. එක් වේලකට හෙරොයින් සඳහා රුපියල් දෙදහසක් වැය කරන ඔහු දිනකට රුපියල් විසි දහසක් මත්කුඩු සඳහා වැය කරයි. වෛද්‍ය ප්‍රතිකාරවලින් ද මනෝ වෛද්‍ය ප්‍රතිකාරවලින් ද පුනරුත්ථාපන කඳවුරුවලින් ද කිසිදු සුවයක් නොලැබිණ. උගතෙකු වූ ඔහුට‍ ඇත්තටම මත්කුඩු භාවිතයෙන් ඉවත් වන්නට ඕනෑකම ද පවතී. එහෙත් ඉන් මිදීමට නොහැකිව සිටී.

අන්තිමේ ඔහුගේ මවුපියන් සමඟ බිරිය ඔහු ඇතුළුකෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත කැඳවා ගෙන ආහ. පැමිණ සියලු විස්තර පැවසූහ. ආධ්‍යාත්මීය උපදේශකවරයා ශක්ති කිරණ එල්ල කොට රෝග පරීක්ෂාවේ යෙදෙන විට පාලිත ගැහෙන්නට විය. පැද්දෙන්නට විය. ඔහුට අමනුෂ්‍ය දෝෂයක් ඇති බව ගවේෂකවරයා වටහාගත්තේ ය. දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේ ය. තමන්ට මේ ජරා ඇබ්බැහියෙන් මිදෙන්නට අවශ්‍ය බව පාලිත ද පැවසීය. එක්වරම කුඩු භාවිතය අත නොහැර දිනකට වේල් 5 – 3 – 2 - 1 ක් වශයෙන් ක්‍රමයෙන් අඩුකර නැවත එන්නැයි ඔහුට කීවේය.

බෝධි පූජා තුනක් පවත්වන විට පාලිතගේ ශරීරයේ විශාල දැවිල්ලක් හට ගෙන හතර වැනි දවසේ ගවේෂකවරයා සොයාගෙන ආවේය. එදින ද පාලිත දිෂ්ටි ගැන්වී අඬන්නට විය. එහෙත් භූතාත්මය කතා කළේ නැත. එදින ශක්ති ගැන්වූ දුම්කුඩු විශේෂයක් දුම් අල්ලන්නට දී නොබියව ඉතුරු බෝධි පූජා පවත්වා නැවත එන්නැයි කීවේය.

බෝධි පූජා අවසන් කොට පැමිණි දිනයේ පාලිතට ආවිෂ්ට වූ භූතාත්මය කතා කරන්නට වූයේ ය. ගවේෂකවරයා ප්‍රශ්නකිරීම් ආරම්භ කළේ ය.
“කවුද මේ ශරීරයට ඇතුළුවෙලා ඉන්නේ?” යි ඇසීය.

“මම කුසල්” යැයි භූතයා කීවේය.
“ගම?”
“වේයන්ගොඩ”
“කවදද මැරුණේ?”
“අවුරුදු තුනකට කලින්”
“ඔබ මේ පාලිතගේ කවුද?”
“මෙයාගෙ යාළුවෙක්. නෑයෙක් නොවෙයි.”
“එහෙනම්?”
“මම හොඳ වැදගත් පවුලක කෙනෙක්. උසස් පෙළ පන්තියේ ඉගෙන ගනිද්දී කුඩු ගහන්න පුරුදු වුණා. මමයි අක්කයි විතරයි අපේ අම්මටයි තාත්තටයි හිටියේ. මම ගෙදර බඩු හොරකම් කරලා තුට්ටුවට දෙකට විකුණලා කුඩු ගැහුවා. මේක අම්මාටයි තාත්තාටයි අහුවෙලා මාව බේරාගන්න හුඟක් වියදම් කළා. අන්තිමට මාව ඕස්ට්‍රේලියාවටත් යැව්වා. මම එහේදිත් හෙරොයින් පාවිච්චි කළා... එහේදී කඩු ගහන කොට පොලිසියට අහුවෙලා උසාවියෙන් දඬුවම් කළා... තාත්තා වියදම් කරලා ආයෙත් ආපහු ලංකාවට ගෙන්නා ගත්තා. මේ සිද්ධිය නිසා අම්මාගේ පපුව හිරවෙලා මැරුණා. මගේ වැඩ නිසා තාත්තා අක්කාවත් රට යැවුවා. ඊට පස්සේ තාත්තාට ගහලා මරණ තර්ජන කරලා ගේ මගේ නමට ලියවා ගත්තා. ඊට පස්සේ ගේ රුපියල් ලක්ෂ 25 ට උකස් කරලා ඒවායෙනුත් කුඩු ගැහුවා. තාත්තාට ගහලා ගෙදරින් පන්නා ගත්තා. අන්තිමට ලක්ෂ 25 ඉවර වුණාම දෙමටගොඩදී බෙල්ල තියලා කෝච්චියට පැනලා මැරුණා” යි ප්‍රේතයා කීවේය.

“ඊළඟට මොකද වුණේ?”
“ඊළඟට කුඩු ගහන අය ළඟට ගිහින් ඒ අයගෙන් පිටවන සුවඳ ඉරුවා.”
“ඉතින් මේ පාලිතගේ ඇඟට ගියේ?”
“රේල් පාරෙදි මුණ ගැහිලා මෙයාගේ පස්සෙන් ගිහින් ඇඟට රිංගලා කුඩු ගහන්න පෙලඹෙව්වා. දැන් මෙයාගේ ඇගේ ඉඳගෙන ඒ ආස්වාදය ගන්නවා.”

රේල් පාරේදී මුණගැසීම ගැන පාලිත පියවි සිහියට පත්කොට ගවේෂකවරයා විමසීය.

බැංකුවෙන් පරිසර ව්‍යාපෘතියක් පටන්ගෙන දෙමටගොඩ සිට මරදාන දක්වා රේල් පාර හා පරිසරය පිරිසුදු කිරීමේ ශ්‍රමදානයක් කළ බව මතක ඇතැයි පාලිත කීවේය. ඒ සමඟ යළිත් භූතයා දිෂ්ටි විය.

“ඔව්... ඔව්... එදා තමයි මෙයාට සල්ලි තියෙන බව හිතලා ඇඟට රිංගුවා. මෙයා ලවා කුඩු බොන්න පටන් ගත්තා” යි ප්‍රේතයා කීවේය.
“ඔය කුඩු සුවඳ උරන ප්‍රේතයන් තව ඉන්නවාද?”
“ඔව්... ඔව්... ලොකු ලොක්කො හුඟක් ඉන්නවා. අම්මටයි තාත්තටයි කරපු අපරාදෙට මටත් ළඟදී තවත් දැඩි විපාක ලැබේවි.”
“ඔබ විනාශ වුණා මදිවට පවුලත් දේපළත් විනාශ කරලා දැන් මේ අහක හිටිය පාලිතවත් විනාශ කරලා පවු කරනවා නේද?”
“ඕවා මම දන්නේ නෑ. මට කුඩු සුවඳ නැතිව ඉන්න බ‍ෑ.”

මේ ප්‍රේතයාට කිසිවක් නොවැ‍ටහෙන බව තේරුම්ගත් ගවේෂකවරයා ප්‍රේතයා දවා පුළුස්සා දුර්වල කොට එළියට ඇද දැම්මේ ය. පාලිතට නැවත පුනරුත්ථාපන මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ගන්නැයි උපදෙස් දුන්නේය.

ඔහු සියයට සියයක් ම සුවපත් වී දැන් නැවත රැකියාවට යන බව මාස දෙකකට පසු පැමිණ පවසා ඇත.

මතුගම මහින්ද විජේතිලක

1 comment:

Powered by Blogger.