අමනුස්ස කාන්තා ආත්මය

ගල මුදුන ගම්මානයට බිංකලුවර වැටෙන්නට පටන් ගන්නා විට, යාන්තම් අප කන්ඩායම එම ගම්මානය පිහිටි මහා කඳු පාමුලට පා තැබුවා පමණි. මහනුවර සිට මහියන්ගන මාර්ගයේ පැය තුනක පමණ ගමනකින් පසු හසලකින් හැරී ගමන්ගත් අපේ වෑන් රථය, ගල මුදුන ගම්මානයට කිලෝමීටර් අටක් පමණ තිබෙත්දී වෙනත් ගම්මානයක නතරකොට දමා ඉතිරි දුර පා ගමනින්ම යෑමට සිදුවූයේ මාර්ගයෙහි තිබූ මහත් දුෂ්කරතා හේතුවෙනි.
මහා වනාන්තරයක් මැදින් වැටී තිබූ, කඳු බෑවුම් සහිතව බහුල ලෙස කඩතොලුවූ මාර්ගයෙහි පාගමනින් යෑම පවා මහත් අසීරු කරුණක් වූවත්, එකාවන්ව ගමනෙහි කෙලවරක් දැකීමේ අභිලාෂයෙන් අධිෂ්ඨාන පූර්වකව සිටි අප කන්ඩායම එම දුෂ්කරතා හමුවේ නොසැලී ගමන් ගන්නට වූයේ රෑ කලුවර වැටීමට පෙර ගලමුදුන ගම්මානයට පය තැබීමේ ආශාව මුදුන් පමුණුවාගෙනය.

වන සතුන් බහුල වන පෙතක් හරහා විහිදුණු මාර්ගයේ ගමන් කිරීම අති දුෂ්කර මෙන්ම භයානක කාර්යයක් වූයේ, අප ගමන් ගත් මාර්ගයේ තිබූ කටුක බවත් එමෙන්ම, කිනම් වේලාවක අතු ඉති බිඳිමින් තනියා හෙවත් මහා සද්දන්තයා අප ඉදිරියට පනීවි දැයි තිබූ අසීමිත බියත් හේතුවෙනි. එහෙත් දින ගනනාවක ලකලැහැස්තියකින් පසුව පැමිණි මෙම ගමනෙහි ගමනාන්තයට නොයා ආපසු හැරීමට අප කන්ඩායමේ සිටි හය දෙනාගෙන් එකෙකුවත් කැමති නොවූයෙන් අප අවශ්‍ය අවස්ථාවකදී පමණක් විදුලි පන්දම් දල්වමින් පැයක පමණ දිගු නිහඬ ගමනක යෙදුණෙමු.

එසේ පැයක පමණ ගමනකින් අනතුරුව අඳුර තුළින් අප පිවිසියේ ඉහළ ගල් තලාවක් මතින් පහලට කඩා හැලෙනා මනරම් දිය ඇල්ලක් අසලට ය. ඒ වන විට මහා වනාන්තරය තුළ කෙරුණු වෙහෙසකර ගමන හේතුවෙන් අප කන්ඩායමේ සියල්ලන්ම මහත්සේ විඩාපත්ව සිටි බැවින්, දිය ඇල්ල අසල පිහිටි තරමක් උස්වූ පැතලි ගලක් දැක, ඒ මතට නැග මදක් විඩා නිවාගැනීම කාගේත් තීරණය විය. අඩි දහයක් පමණ උස් වූ එම ගල මතට නැගීමට තිබුණේ එකම මගක් පමණි. එනම් ගල් කුලට සමාන්තරව ඉහලට විහිදුණු පලු ගසකි. අතු පතර දසත විහිදුණු එම ගස මතින් ගල් කුල මුදුනට නැග ගැනීම අප හට ඉතා පහසු කාර්යයක් වූයෙන්, අප අපගේ ගමන් මලුද එහි ගෙන ගියෙමු. ඉගිල්ලීමට හැකි සතෙකුට විනා වෙනත් කිසිදු සතෙකුට එම ගල්කුල මතට ගොඩවීමට පලු ගස හැර වෙනත් මාර්ගයක් නොවූයෙන් අපගේ ජීවිත සියයට සියයක්ම ආරක්ෂිත භව ⁣එහි නැගි නොබෝ වේලාවකින්ම අප කාටත් අවබෝධ විය.

ආරම්භයේදී සිතුවාට වඩා බොහෝ වැඩි කාලයක් මෙම ගමනට ගතවී තිබූ හෙයින් තව දුරටත් මහා වනාන්තරය තුළ පැවති ඝන අඳුර මැදින් යෑමට ඉතිරිව තිබූ කි.මී 05 ක පමණ බියකරු ගමනකට මාගේ සිත මා හට ඉඩ නොදුන් හෙයින්, රාත්‍රිය පහන් වන තෙක් අප නැගගත් ගල් කුල මතම රැඳී සිටීමුදැයි මා අනෙකුන් වෙත යෝජනා කළෙමි. මාගේ ඉමහත් සතුටට හේතුවෙමින් සියල්ලෝම මාගේ එම යෝජනාවට එකඟ වූයෙන්, ඉන් පසු අපගේ කාර්යභාරය වූයේ ගිනිමැලයක් දැල්වීම, රාත්‍රී ආහාරය සූදානම් කිරීම සහ ගල් කුල මත තිබූ සුලු ඉඩකඩ තුළ අපගේ කූඩාරම් අටවා ගැනීමය.

ගල් කුල මත අප වන සතුන්ගෙන් ආරක්ෂිත වූයෙන් විදුලි පන්දම් දල්වා වටපිටාව පරීක්ෂා කිරීමට තීරණය වූයෙන්, අප ගල්කුල මත සිටම විදුලි පන්දම් ආලෝකයෙන් හාත්පස පිරික්සා බැලුවෙමු. බැලූ බැලූ අත මහා වනාන්තරය දක්නට ලැබුණද කිසිදු වන සතෙකුගේ සේයාවක් වත් අප නොදුටුවෙමු. එමෙන්ම අප නැගීගත් ගල් කුලට ඉදිරියෙන් එනම් අප සිටි ගල් කුලත්, පෙර කී දිය ඇල්ලත් අතරෙහි පිහිටි තවත් ගල් කුලක් හේතුවෙන් අප රැඳී සිටි ස්තානයට දිය ඇල්ලේ දර්ශනය සම්පූර්ණයෙන්ම අවහිරව තිබිණ. තවත් සුලු කාලයක් වැයකොට ගල් කුල මත ආරක්ෂිතව කූඩාරම් අටවා නිම කළ අප ඉන් අනතුරුව ආහාර පිසීම සඳහා ලිපක් තැනීමට අදහස් කළෙමු. අප රැඳී සිටි ගල් කුල මත තිබී ලිප සෑදීම සඳහා සුදුසු ගල් තුනක් සොයා ගත්තද, ආහාර පිසීම සඳහා අවශ්‍ය දර සහ ජලය අප අසල නොවූයෙන්, දිය ගෙන ඒමට සහ දර සොයා ගැනීමට ගල් කුලෙන් පහලට බැසීමට සිදුවන බව අප හට අවබෝද විය. එහෙයින් අප කන්ඩායමේ සාමාජිකයින් හයදෙනාගෙන් දෙදෙනෙක් ගල් කුල මතම රැඳී සිටිමින් විදුලි පන්දම් ආදාරයෙන් අවට වනය දැඩි පරීක්ෂාවකට ලක් කරන අතරතුර, ඉතිරි පිරිස දෙදෙනා බැගින් වෙන්වී දර සහ ජලය ⁣රැගෙන ඒමට පිටත්වීමට තීරණය විය. එහිදී උද්ගතවූ ප්‍රධානම ගැටලුව නම්, අප රැඳී සිටි ගල් කුල මත සිට අවට පිරික්සන දෙදෙනා හට දිය ඇල්ල පිහිටි ප්‍රදේශය දර්ශනය නොවීම හේතුවෙන්, දිය ගෙන ඒමට දිය ඇල්ල සමීපයට ගමන් කරනා දෙදෙනා මහත්වූ විමසිල්ලකින් එම කාර්යය සිදුකළ යුතු වීමය. එහෙත් අප කන්ඩායමේ සාමාජිකයින් අතරින් සුපුන් සහ රොෂාන් සිය කැමැත්තෙන්ම එම කාර්යය බාරගත් හෙයින්, ඔවුන් දෙදෙනා දිය ගෙන ඒමට පිටත්කොට මා හසිතද සමගින් ගල් කුල පහල පෙනෙන මානයෙහි තැන් තැන්වල වැටී තිබූ දිරා ගිය දර කැබලි එකතු කරන්නට විමි.

ගල් කුල මත සිට හාත්පස විදුලි පන්දම් එලි යොමු කරමින් ජනක සහ ලසින්ත විමසිලිමත්ව සිටි හෙයින්, හසිත සහ මම කිසිදු අපහසුතාවයකින් තොරව දර සෙවීමේ කාර්යයෙහි නියලුනද, දර සොයනා අතරතුරද මගේ සිතෙහි බිය උපදවන කාරණය වූයේ දිය ගෙන ඒමට සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වූ සුපුන් සහ රොෂාන් හට කුමක්හෝ අනතුරක් වේදෝ යි යන්නයි. දෙවියන්ගේ පිහිටෙන් එසේ කිසිත් නොවේවායි මා දර සොයනා අතරතුර විසි වතාවකට වඩා හිතෙන් මුමුණන්නට ඇත. අවශ්‍ය තරමට වියලි දර කැබලි සොයා ගල් කුල පාමුල ගොඩ ගැසූ අප ඉන් අනතුරුව එම දර සියල්ලම පලු ගස ඔස්සේ ගල් කුල මුදුනට ගෙන ගියෙමු. එම කාර්යය සඳහා අපට විනාඩි පහලොවක් පමණ ගතවන්නට ඇත. එහෙත් ඒ වන විටද දිය ගෙන ඒමට ගිය සුපුන් සහ රොෂාන් නැවත පැමිණ නොතිබීම හේතුවෙන් අප සිව්දෙනා මහත් බියකට සහ කුතුහලයකට පත්වූයේ, දිය ඇල්ල වෙත ගොස් යළි පැමිණීමට ඔවුන් හට ගතවූ කාලය හොඳහැටි ප්‍රමාණවත් බැව් අප කාහටත් වැටහුණු හෙයිනි. මහත් කුතුහලයකින් යුතුව තවත් විනාඩි පහක් පමණ බලා සිටියද සුපුන්ගේ සහ රොෂාන්ගේ සේයාවකුදු දැකගත නොහැකි වූයෙන්, තව දුරටත් බලා සිටීමට නොහැකි වූ අප සිව්දෙනා වෙන⁣ දෙයක් සිදුවූදෙන් යැයි සිතා විදුලි පන්දම් දල්වාගෙන දිය ඇල්ල දෙසට පා නැගුවේ වටපිටාව පිළිබඳවද හොඳ අවදායකින් යුතුවය. බාධක ගල් කුල පසු කරත්ම විදුලි පන්දම් එලියෙන් මා හට යන්තමට දිය ඇල්ලෙහි ජල පහර දැකගත හැකි වූ අතර, ඒ සමගම දිය ඇල්ල සමීපයෙහි පිහිටි කුඩා ගල් තලාවක පහතට නැඹුරුවී සිටිනා යම්කිසි ඡායාවක් යන්තමට දක්නට ලැබුනෙන්, වහා විදුලි පන්දම් ආලෝකය ඒ දෙසට යොමු කළෙමි. මාගේ විදුලි පන්දම් ආලෝකය ඒ දෙසට යොමුවනවාත් සමගම, පැහැදිලිව බලාගැනීමටද පෙර එම අපැහැදිලි ඡායාව දුමාරයක් මෙන් අතුරුදහන්ව ගියේ කිසියම් හාස්කමකින් මෙණි. මා යොමුකළ විදුලි පන්දම් ආලෝකය තුළින් ඒ වන විට අප කාහටත් දැකගත හැකි වූයේ කුඩා ගල් තලාව මත උඩුබැලි අතට වැතිර සිටිනා සුපුන්වය. එසේනම් මා පෙර එක් ශණයක දුටු අපැහැදිලි ඡායාව පහත්වී සිට ඇත්තේ ගල්තලාව මත වැතිර සිටිනා සුපුන්ගේ ශරීරය වෙත දැයි මා අන් අයගෙන් සැනෙකින් ප්‍රශ්න කළ ද, මා හැරෙන්නට වෙනත් කිසිවෙකුත් එවන් ඡායාවක් දැක නොතිබිණ.

උදාවී තිබූ වාතාවරණය හමුවේ තවත් ඒ පිළිබඳ කල්පනා නොකළ අප වහ වහා බිම වැතිර සිටි සුපුන් අසලට දිව ගියෙමු. රක්ත වර්ණයට හැරී ලොවි ගෙඩි දෙකක් මෙන් විවරවූ දෑස් ඇතිව ගල් තලාව මත උඩු බැලිව වැතිර සිටි සුපුන්ගේ මුහුණෙහි අදික භීතියක් සටහන්ව තිබෙණු මා සැනෙකින් දුටුවෙමි. අප පිරිසෙන් එකෙකු යාබදව ගලා ගිය දිය පහරින් දිය ගෙනවිත් සුපුන්ගේ මුහුණට ඉසිනා අතර, මා විමසිලිමත් වූයේ සුපුන් සමග දිය රැගෙන ඒමට පිටව ගිය රොෂාන් පිළිබඳවය. හාත්පස විදුලි පන්දම් ආලෝකය යොමු කරමින් රොෂාන් හට කුමක් සිදුවන්නට ඇත්දැයි සිතමින්, දෙගිඩියාවෙන් ඔහු සොයා ගමන් කළා විනා, ⁣අන් පිරිස අසලින් නික්ම, වනය තුළට ඇතුල්ව, සෑහෙන දුරක් පැමිණ ඇති බව මා හට වැටහෙන්නට වූයේ විනාඩි විස්සක් පමණ එසේ ගමන් කිරීමෙන් අනතුරුවය. මා මේ කොහේ යන්නේදැයි ඒ වන විට පියවි සිහියට එලැඹි මා මදක් නතරව කල්පනා කළෙමි. මෙපමණ වේලාවක් වන සතුන්ට බියෙන් ගල් කුල මතට වී සිටි මා, මේ ලෙස තනිවම පැමිණියේ කෙසේදැයි සිතත්ම යළිත් මාගේ සිතට වන සතුන් පිළිබඳ බියක් දැඩි ලෙස දැනෙන්නට විය. එහෙයින් ආපසු හැරුණු මා පැමිණි දෙසටම දිව යෑමට සැරසුන මුත්, ඒ වන විටද මා හට නොදැනෙන්නට මා පසුපස පැමිණ, සුපුන් සේම රත් පැහැ වූ දෑස් විවරකොට ගෙන, ඇහි පිල්ලමක් පවා නොගසමින් එක එල්ලේ මාදෙස බලා සිටි රොෂාන්ගේ සිරුරෙහි වැරෙන් හැපුනෙන්, අප දෙදෙනාම එක පොදියට බිම පෙරළින.

මා සමගම බිම පතිත වූ රොෂාන් එක් වරම සිහිනෙන් අවදිවූවකු මෙන්, තමා මේ සිටින්නේ කොහේදැයි මා වෙතින් ප්‍රශ්න කරන්නට විය. සුපුන් මෙන්ම රොෂාන්ද යම් කිසි මෝහණයක් බඳු දෙයකට පත්ව සිට ඇතැයි ද, එමෙන්ම තවත් සුලු වේලාවක්වත් අප කණ්ඩායමෙන් තනිව සිටීම නුවණට හුරු නැතැයිද ශණයකින් මාගේ සිහියට එන්නට වූයෙන් රොෂාන්ගේ අතෙන් ඇදගෙන ආපසු දුවන්නට සැරසුණු මා ඉදිරියෙන් දුටු දෙයින් හිටිතැනම ඉද්ද ගැසුවාක් මෙන් තත්පර දෙක තුනක් මටත් නොදැනීම නැවතුනෙම්. ඒ වන විටද අප ආපසු යායුතු දිශාවෙහි සිට මග අහුරමින් සිටියේ, මා සුළු මොහොතකට පෙර, දිය ඇල්ල අසලදී දුටු අපැහැදිලි ඡායාවය. බිය පත්ව ඒ දෙස බලා සිටි තත්පර දෙක තුනක කාලය තුළ මා එම අපැහැදිලි ඡායාව පැහැදිලි කාන්තා රුවක් බවට පරිවර්තනය වනු දුටුවෙමි. ඒ සමගම මා දුටුවේ එම කාන්තා රුව මා දෙස නොව, ඒ වන විටද මා විසින් අතින් අල්ලාගෙන සිටි රොෂාන් දෙස එක එල්ලේම බලා සිටිනා බවය. රොෂාන්ද කෙමෙන් ඒ රුව දෙසට ගමන් කිරීමට සැරසෙනු දුටු මා එම ස්ථානයෙන් පැන දිවීමට රොෂාන්ගේ අතින් අදින්නට වූ මුත්, ඔහු යලිත් මෝහණයට පත්වූවකු මෙන් ඉදිරියෙන් වූ කාන්තා රුව දෙසට ගමන් කරන්නට විය. තව දුරටත් මෙය ඉවසා සිටීමට නොහැකිවූනිසාවෙන් වන්නට ඇත, මාහටද නොදැනීම මාගේ අත එසැවී රොෂාන්ගේ කම්මුල හරහා වැරෙන් අතුල් පහරක් එල්ල විය. එම පහරෙන් ඇතිවූ කම්පනය නිසාදෝ රොෂාන් යළිත් පියවි සිහියට පැමිණියෙන්, අප දෙදෙනාම තවත් තත්පරයක් හෝ එහි නොරැඳී මහ වනය මැදින් දුවන්නට උණෙමු.

කාන්තා රුව රැඳී සිටි පෙදෙස මගහැර, දිය ඇල්ලේ ශබ්දය ඇසෙන දිශාවට අප එසේ දිවයත්ම, අප පසුපසින් කාන්තාවක් විසින් නගනා යටිගිරියෙන් කෑ ගසනා හඬක් ඇසෙන්නට වූවත්, අප ඒ දෙසවත් නොබලා දිව ගියෙමි. තවත් මිනිත්තු පහක් පමණ එසේ දිව ගිය අප දෙදෙනා හට දිය ඇල්ල පාමුලට පැමිණීමට හැකි විය. අප එහි යන විට සුපුන් සහ ලසින්ත, පෙර සුපුන් වැතිර සිටි ගල් තලාව අසල රැඳී සිටි අතර, ඒ වන විට සුපුන්ද පියවි සිහියට එළැඹ සිටියේය. එහෙත් මා වඩ වඩාත් බියට පත්වූ දෙයක් ඒ වන විටද එම වනාන්තරය තුළ සිදුවෙමින් තිබිණ. ඒ අන් කිසිවක් නොව අප පිරිසෙහි අනෙක් දෙදෙනා වූ ජනක සහ හසිත, ඒ වන විටද රොෂාන් සොයමින් තනිපංගලමේ වනයට ඇතුලුවූ මා සෙවීමට ගොස් තිබීමයි.

කරකියාගත හැකි දෙයක් සිතා ගැනීමට නොහැකිව මා සුලු මොහොතක් හුන් තැනම බිම ඇන තියාගෙන කල්පනා කලෙමි. නැත, කළහැකි කිසිවක් කල්පනාවට එන්නේ නැත. මා හට මා කෙරෙහිම කෝපයක් ඇතිවන්නට විය. අසල වූ ගල් කැට අහුරක් දෑතට ගෙන හැකි වෙර යොදා දිය පහර වෙත දමා ගැසුවෙමි. එහෙත් සිතට නැගි කෝපය පහවන්නේවත්, ඒ මොහොතේ කළයුත්තක්වත් හිතට නැගුණේ නැත. අසල තිබූ තරමත් විශාල ගලක් රැගෙන යළිත් හැකි වෙර යොදා දිය කඳ වෙත දමා ගැසුවෙමි. එහෙත් පෙර සේම කිසිවක් සිදු නොවිණ. ඒ මොහොතේ එක් වරම අප කාගේත් සිරුරු කිලිපොලා යන හඬක් වනය දෙසින් ඇසෙන්නට විය. ඒ අන් කිසිවක් නොව සුලු මොහොතකට පෙර රොෂාන් සහ මා හට වනය තුළින් දිව යද්දී ඇසුණු අමනුස්ස කාන්තා හඬින් කෙරුණු කෑගැසීමමය. දෙවරක් සිතා බැලීමට කාලයක් නොවිණි. මා සොයා වන වැදුණු ජනක සහ හසිත අනිවාරයෙන් ඒ අමනුස්ස ආත්මයට මුනගැසී ඇතිවා නිසැකය. ඔවුන්ද සුපුන් සහ රොෂාන් මෙන් මෝහණයට පත් වීමට පෙර කෙසේ හෝ ඔවුන් එම ආත්මයෙන් ගලවා ගත යුතුය. ඒ මොහොතේ සුපුන් සහ ලසින්තද මා ලෙසම සිතන්නට ඇත. කිසිඳු එකඟතාවයකින් තොරවම, තිදෙනාම එක් වරව හඬ ආ දෙසට දිව යන්නට වූයේ ⁣එහෙයිණි.

අප හැකි උපරිම වෙර යොදා දිව්වෙමු. මිනිත්තු පහක් ගතවන්නට පෙර, අවසන් වතාවට අමනුස්ස කාන්තා ආත්මය දුටු තැනට අප පැමිණ සිටියෙමු. ජනක සහ හසිත එම ස්ථානයට පැමිණි බවටත්, ඔවුන් හට එතැනදී යම් කිසි කරදරයකට මුහුණ දීමට සිදුව ඇති බවටත්, අප හට සිතා ගැනීමට පහසු වන පැහැදිලි සාක්ෂියක් එහි බිම තිබිණ. ඒ අන් කිසිවක් නොව හසිත අත තිබූ ඔහුගේ විදුලි පන්දමය. ඒ වන විට විදුලි පන්දමක් තිබුණේ මා අත පමණි. එහෙයින් බිම වැටී තිබූ හසිතගේ විදුලි පන්දම අහුලා ගත් මා, එය සුපුන් අතට දුන්නෙමි. අප සතු විදුලි පන්දම් ආලෝකයෙන් අවට පිරික්සන විට, අප පැමිණි දෙසින් විරුද්ධ දෙසට යොමුවූ හසිතගේත් ජනකගේත් පා සලකුණු ද, අවට පඳුරු තැලී පොඩිවී ඇති ආකාරයද දක්නට ලැබිණ. එහෙයින් අප නැවතත් අවට අඩි සලකුණු පිරික්සමින් හැකි වෙර යොදා ඒ දෙසට දිව ගියෙමු.

එලෙස අප හසිතලාගේ අඩි සලකුණු ඔස්සේ කොතෙක් දිව ගියේදැයි මා නොදනිමි. එහෙත් අවසානයේ ඔවුන් සොයා ගැනීමට තරම් අප වාසනාවන්ත වුනෙමු. එහෙත් ඒ වන විටද ඔවුන් ⁣පියවි සිහියෙන්නම් පසු නොවිණ. හැල්මේ දිවගිය අප තිදෙනා අතරින් ඉදිරියෙන්ම දිව යන්නට වූයේ අප පිරිසෙහි සද්ධන්තයා වූ ලසින්ත ය. ඒ පසුපස සුපුන්ද, අවසානයට මාද දිව ගියෙමි. අප එසේ දිව යන අතර වනයෙහි වූ විශාල නුග රුකක් අසලදී, ඉදිරියෙන් දිව ගිය ලසින්ත බිම පෙරලී යන ආකාරයෙන් යම් කිසිවෙක් ඔහුගේ ඇඟට පනිනු මා යන්තමින් දුටුවෙමි. ඒ සමගම මාගේ පිට කොන්ද හරහා වැදුණු වේදනාකාරී පොලු පහරකින් මා පසෙකින් වූ මද බෑවුමක් දෙසට විසිවුනෙමි. වේදනාව අතරින් මා යළිත් නැගී සිටිනා විට හසිත සහ ජනක, ලසින්ත සහ සුපුන් සමගින් මරාන්තික පොර බැදීමක යෙදී සිටිනු දුටුවෙමි. ඒ සමගම අහම්බෙන් මෙන් මා හට අසල වූ නුග ගස දෙස බැලින. පෙර දුටු අමනුස්ස කාන්තා රූපය නුග ගස පාමුල සිට එක එල්ලේ පොර බදමින් සිටි පිරිසෙහි වූ ලසින්ත දෙස බලා සිටිනුත්, ලසින්ත සමග පොර බදමින් සිටි හසිතගේ ග්‍රහණය කෙමෙන් ලිහිල් වෙනුත්, ඒ සමගම ලසින්තද මෝහණයට පත්වී මෙන් එම අමනුස්ස කාන්තා රුව දෙසම බලා සිටිනුත් දුටු මාගේ ඉහ මොල රත්වී යන්නට වූයෙන්, වෙනත් කළ යුතු යමක් නොවූයෙන් එක් වරම මදක් වැඩි හඬකින් "ඉතිපිසෝ" ගාතාව කියන්නට විමි. එය ඇසෙත්ම මූසල වූ අමනුස්ස හඬකින් කෙරුණු යටිගිරියෙන් කෑගසනා හඬක්ද සමඟින්, නුග ගස පාමුල සිටි අමනුස්ස රුව අපැහැදිලි රුවක් බවට පත්ව, අනතුරුව දුමාරයක් මෙන් මැකී යන්නට විය. ගාතාව නොනවත්වාම කියමින් මා සුපුන්ලා සිටි ස්ථානය වෙත යන විට හසිත සහ ජනකද පියවි සිහියට පත්ව සිදුවූයේ කුමක්දැයි සිතාගැනීමට නොහැකිව සිටියහ. මා ගාතාව නොනවත්වාම අවට පරිසරය දෙස මදක් විපරම් කොට බැලුවෙමි. අප හුන් තැනට මද දුරකින් එලිමහනකට සඳ එලිය වැටී තිබෙණු එවිට මාහට දක්නට ලැබුණෙන් මා පසුපස පැමිණෙන ලෙස අන් අයටද අතින් සන් කරමින් වහ වහා ඒ දෙසට ගමන් කළෙමි. හඳ එලිය වැටි එලිමහනක් ලෙස මා දැක තිබුණේ මහා වනාන්තරය තුළින් ගලමුදුන ගම්මානයට දිවෙනා මාර්ගයයි. අප පිරිස එම මාර්ගයට එළැඹෙත්ම, එම මාර්ගය අසල වූ දැවැන්ත ගසක් අසල ලී⁣ දෙකක් මත ඇදි ලණුවක කොල අතු එල්ලා තිබෙණුද, එම ගස පාමුල දේව රූපයක් තැබූ කුඩා කුටියක් ඇති බවද විදුලි පන්දම් ආලෝකයෙන් දුටුවෙමු.

එම ස්ථානයට පැමිණ දෙවියන් වැඳ කොල අත්තක්ද එල්ලා අප ආරක්ෂා කර දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලුවෙමු. තවත් පැය බාගයක පමණ කාලයක් අප එම දෙවොල අසලම රැඳී සිටියමුත්, එදින අප හට අනන්තවත් කරදරයන්ටත්, හිරිහැරයන්ටත් මුහුණ දීමට මුල් වූ ඒ අමනුස්ස කාන්තා ආත්මය නැවත දැකගැනීමට නොලැබිණ. එහෙයින් අප සැමගේම අදහස වූයේ හිරු උදාවන තෙක්ම එම ස්ථානයෙහිම රැඳී සිට, හිරු උදාවෙන් තවත් පැයකට පමණ පසු අප කූඩාරම් බැඳි දිය ඇල්ල අසලට ගොස්, ඒ වන විටද ඉරී මඩ තැවරී තිබූ, අප හැඳ උන් ඇඳුම් ඉවත්කොට වෙනත් ඇඳුම් හැඳ, හැකි ඉක්මනින් නිවෙස් බලා යෑමටයි.

තවත් පැය දෙක තුනක් ගෙවී ගිය රාත්‍රිය නිමාකොට, හිරු කිරණ ගස් මුදුන් මත පතිත වෙත්දී, මරු විකල් වූ භයානක ආත්මයකින් අප ආරක්ෂා කළ, අප දිවි බේරාදී පෙර දින රැයෙහිදී මෙන්ම එම මොහොතෙහිද සිනාමුසු පින්වන්ත මුහුනකින් මහා ගස මුල වැඩ සිටිනා, නමක් නොදන්නා ඒ දෙවියන් හට අනේකවාරයක් හිතින් පිං දී, වැඳ නමස්කාර කොට අප එතැනින් පිටව ආවෙමු.

නිමි

No comments:

Powered by Blogger.